About

ලංකාව කියන්නෙ අවම වශයෙන් වසර දෙදාස් පන්සීයකවත් අතීතයක් සහිත තාක්ෂණික ශිෂ්ඨාචාරයක් කියල ඔප්පු කරන්න ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ඕනෙ තරං. සුද්දො වැසිකිලියක්වත් භාවිතා කරන්න දන්නෙ නැති කාලෙක ලංකාවෙ මිනිස්සු හැතැප්මට අඟලක බැස්මක් සහිත අතිශය දියුණු වාරි ඉදිකිරීම් කරන්න තරමට දක්ෂ වෙලා හිටි බවට අපේ ගොඩක් අය පම්පෝරි ගහන්නෙ අන්න ඒ නිසා

ඒ අතීතය කොයි තරං මන නන්දනීය එකක් වුනත් අපේ රට ආර්ථික සහ සමාජීය කාරණා වලිං අද ලෝකයේ පසු වෙන තැන ගොඩක්ම ආඩම්බර වෙන්න පුලුවං එකක් නෙමෙයි. අපේ රටේ ගොඩක් අය මේක තේරුං අරං තියෙනවා වගේම හැමෝම මේකට මෙතෙක් අපේ රට පාලනය කරපු ආණ්ඩු වලට සහ දේශපාලකයන්ට ශාප කරනවා

ඇත්ත. අපේ රට මේ පත්වෙලා තියෙන තත්ත්වෙට වැඩිපුරම වග කියන්න ඕනෙ මෙතෙක් රට පාලනය කරපු ආණ්ඩු සහ දේශපාලකයො තමයි. ඒත් ඒ අයට ශාප කිරීමෙන් හෝ ඒ අය ගැන බලාපොරොත්තු තබා ගැනීමෙන් පමණක් අපේ රට මේ තියෙන තත්ත්වෙට වඩා පොඩ්ඩකින් හරි ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කරන්න උපකාරී වෙන්නෙ නැහැ

පහුගිය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ අපේ රටට බලපාපු විවිධ ආගමික සංස්කෘතික සහ දේශපාලනික කාරණා නිසා අපේ රටේ මිනිස්සු බොහෝ දුරට යැපුම් මනසිකත්වයකින් පෙළෙන්නන් බවට පත් වෙලා. සමෘද්ධිය වගේ සරණාගත සංකල්ප් විතරක් නෙමෙයි තමුන්ට වැටිල ඉන්න ගෙයක් හදා ගන්න ටකරමක් පවා කවුරුහරි ගෙනැත් දෙන්න ඕනෙ කියල හිතන හීන පෞරුෂ තැනට අපේ රටේ මිනිස්සු පත් වෙලා.

එහෙම වෙන්න අවශ්‍යතාවය මොකක්ද කියලවත් ඒ අයගෙන් රටට වෙන තීරණාත්මක සේවය මොකක්ද කියලවත් හරියටම විග්‍රහ කරගන්න බැරි වුණත් අපේ රටේ හැම මිනිස්සු 18 දෙනාගෙං කෙනෙක්ම රජයේ සේවකයෙක් බවට පත් වෙලා. බොහෝ දුරට රට සංවර්ධනය සඳහා මින්ස්සුංගෙං එකතු කෙරෙන බදු මුදලින් නඩත්තු වෙන ඒ පිරිස රටට දරා ගන්න බැරි බරක් වුණත් රටේ තරුණ පරම්පරාවෙන් සැළකිය යුතු පිරිසකෙගේ ඒකයන බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ රජයේ රැකියාවක් සොයා ගැනීම. එහෙම වෙලා තියෙන්නෙ රටේ සංවර්ධනයට දායක වෙන්නවත් අඩුම තරමේ තමුන්ට සැපවත් ජීවිතයක් ගත කරන්න තියෙන ආසාවවත් නෙමේ. ස්ට්‍රෙස් එකෙං අඩු රස්සාවක් කරලා මාසෙ අන්තිමට කීයක් හරි සාක්කුවෙ දාගන්නත් අවුරුදු පනස් පහෙං පස්සෙ තමුං නොකරපු සේවයක් වෙනුවෙන් කාගෙ හරි මුදලින් නඩත්තු වෙන්න තියෙන ආශාව.

මේ ගැන කතා කරනකොට මතු වෙන වැදගත්ම කාරණේ තමයි 2015 රජයේ සේවකයන්ට රුපියල් 10,000ක පඩි වැඩිවීම නිසා සිදු වෙච්චි වියදම කොළඹ මාතර අධිවේගී මාර්ගය ඉදි කරන්න ගිය මුලු වියදමට වඩා වැඩී කියන එක. ඒ කියන්නෙ රජයේ සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න කරපු පඩි වැඩිවීම ට වියදම් වූ මුදලෙන් ඒ වගේ තව හයිවේ එකක් සත පහක් පිටරටට ණය නොවී හදන්න පුලුවං. සමහර විට ඒ කොළඹ නුවර අධිවේගී මාර්ගය වෙන්න තිබුණා. මේ කියන්නේ ඒ අයගේ පඩි වැඩිවීම නරකයි කියන එක නෙමෙයි. ඒත් හිඟන්නාගේ ආබාධිතයාගේ ඉඳලා හැමෝම ගෙවන බදු සල්ලි වලිං කොළඹ නුවර හයිවේ එක හදන්න තරමට මුදල් කන්දරාවක් වැය කරලා රජයේ සේවකයන්ට පඩි වැඩිවීම් ගෙවන කොට රටේ සංවර්ධනයට ඒකෙං ලැබෙන ප්‍රතිලාභය මොකක්ද??

ඉතිං සාරාංශය මෙහෙමයි. අපේ රට ජීවත් වීමට මීට වඩා සුදුසු තැනක් බවට පත් කරන්න නං කාගෙන් හරි නඩත්තු වෙන යැපුම් මානසිකත්වයෙන් අපේ තරුණ පරම්පරාව මුදවගෙන අභියෝග වලට ආදරය කරන විශ්වයේ නව මානයන් හොයා යන අපූරු මිනිසුන් නිර්මාණය වෙන්න ඕනෙ. අවුරුදු පනස් පහෙං පස්සෙ කාගෙවත් මුදලින් ලැබෙන පෙන්ෂන් එකක් වෙනුවෙන් හිඟන්නාගේ ආබාධිතයාගේ ඉඳලා මිනිස්සු ගෙවන බදු මුදලින් නඩත්තු වෙන දිසාපති කෙනෙක් වෙනවට වඩා හෙට දවසේ තමුංගෙ දරුවගෙ ඉස්කෝලෙ ගෙනියන කෑම පෙට්ටියට දාන්න බනිස් ගෙඩියක් අරං දෙන්න පුලුවං වෙයිද නැද්ද කියන නිශ්චිතතාවය නැතුව බුලත් විටක් බීඩියක් විකුණලා හරි ලාභයක් හොයා ගන්න පෙට්ටි කඩයක් කරන එක, ගම්මිරිස් ඇටයක් කුඩු කරලා පැකට් කරලා මැලේසියාවට යවලා හරි ලාභයක් ලබන්න උත්සහ කරන එක අභිමානවත් බව අපේ අනාගත පරාම්පරාවට කියා දෙන්න ඕනෙ.

ඉතිං මේ සමූහයේ අරමුණ ඒකයි. අලුතෙන් ව්‍යපාරයක් අරඹන්න හදන, තියෙන ව්‍යාපාරය දියුණු කර ගන්න හදන ඔබට අදහස්, උපදෙස් හුවමාරු කර ගන්න ඔබේ ව්‍යාපාරයෙ වර්ධනයට මුදල් අගහිඟ කමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න කැමති කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්න, ඔබ සුළු ප්‍රමාණයේ හෝ මුදලක් සාර්ථක සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඒ සඳහා සුදුසු ව්‍යාපාරික සහකරුවෙක් හොයා ගන්න මේ අවකාශය භාවිතා කරන්න පුලුවං

ඉතිං ඔබට තෝරා ගන්න පුලුවං මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපේ රට මේ වගේ කාළකණ්නි තත්ත්වෙකට පත් කලේ මේ රට පාලනය කරපු දේශපාලකයෝය කියලා ශාප කර කර කවදාහරි දියසේන කුමාරයෙක් බිහි වෙලාමේ රට මෙතනින් ගලවා ගනීවියැයි සිතුවිලිත් එක්ක අඳුරටම වෙලා ඉන්න. එහෙම නැත්නම් බ්‍රවුන් පේපර් කොලේකිං ලියුම් කවරයක් කපලා අලවලා කාට හරි විකුණලාවත් තවත් කිහිප දෙනෙකුට ආදායමක් උදා කර ගන්න පුලුවං තත්ත්වෙට පත් කරලා ඒ අඳුර දුරලන්න පුංචි පහනක් හරි දල්වන්න

ඉතිං මේ අප දකින්නේ අපේ රටේ දරු දැරියන්ගේ හෙට දවස වඩා යහපත් එකක් බවට පත් කරන ඒ අපූරු ශ්‍රී ලාංකීය සිහිනයයි

Advertisements